පූජ්‍ය මහවැව මහින්ද ස්වාමීන් වහන්සේ
- තිස්සමහාරාම යෝධකණ්ඩිය ඓතිහාසික නාග මහා විහාරාධිපති
- මාතර නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය
- ශ්‍රී විපුල තිස්ස දහම් පාසලේ ප්‍රධානාචාර්ය
- රුහුණු විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සභික
- තිස්සමහාරාම විහාරාධිපති සංගමයේ ගරු ලේකම්
- තිස්සමහාරාම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී
දැයේ සුවහසක් දූ දරුවන්ගේ නැණ පහන් දල්වාලන ගුරුවරුන්ට නිබඳව මාර්ගෝපදේශය ලබා දෙමින්, බෞද්ධාගමික පුනර්ජීවයක් ලබා දීම උදෙසා බොදු දනන් වෙත යතිවරයන් වහන්සේ නමකගෙන් ඉටු විය යුතු සකල යුතුකම් ඉටු කරමින්, හෙළ බසට, සාහිත්‍යයට හා සමාජ සංස්කෘතික අංශයන්ට සුවිශාල මෙහෙයක් ඉටු කරන්නා වූ ගෞරවනීය හිමිනමකි.
උපත හා ළමා විය
1968 වර්ෂයේ දී මොනරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැව විසිතුන ජනපදයේ ජන්මලාභය ලැබූ උන්වහන්සේ, දරුවන් හත් දෙනෙකුගෙන් යුත් පවුලක පස්වන දරුවා විය. ප්‍රදේශයේ ජනප්‍රිය සමාජ සේවකයෙකු වූ, විවාහ රෙජිස්ට්‍රාර් තනතුරින් ප්‍රදේශයට විශාල සේවයක් ඉටු කළ පියාණන්ගේ ද, මානව දයාවෙන් අනූන දැහැමි දිවි පෙවෙතක් ගත කළ මෑණියන්ගේ ද රැකවරණය මත උන්වහන්සේ හැදී වැඩුණි.
මූලික අධ්‍යාපනය අගුණුකොළපැලැස්ස මහා විද්‍යාලයෙන් ලැබූ අතර, ගම් පියසට ආසන්නයේ පිහිටි “සීමාපවුර” ආරණ්‍ය සේනාසනයේ ඇසුර කුඩා කල සිටම ලැබීමත්, එහි නායක හිමියන්ගේ ගුණ යහපත්කම සිතෙහි නිදන්ගත වීමත් සමඟ, සසුනට එක්වීමේ සිහිනය එම පුංචි සිතෙහි මැවිණි.
පැවිද්ද
දෙමාපියන් දෙදෙනාගේ පූර්ණ ආශිර්වාදය මත 1978 අප්‍රේල් මස 22 වන දින සිය පියාණන් සමඟ තිස්සමහාරාම යෝධකණ්ඩිය පුරාණ නාග මහා විහාරයට පැමිණි උන්වහන්සේ, එවකට විහාරාධිපතිව වැඩ විසූ සාහිත්‍යාචාර්ය පූජ්‍ය ගොඩවෙල ශ්‍රී සෝමාලෝක නා හිමියන්ගේ සෙවණේ හැදී වැඩුණේ උතුම් පැවිදි බිමට අවැසි පසුබිම නිර්මාණය කර ගැනීම වෙනුවෙනි.
විහාරස්ථානය ආසන්නයේ පිහිටි යෝධකණ්ඩිය ශ්‍රී දේවානන්ද මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව, 1980 පොසොන් මස 02 වන පොහෝ දින ගෞරවනීය මහා සඟරුවනේ ආශිර්වාදය හා සතර පේරුවේ දායක සමූහයාගේ සාදු නාද මධ්‍යයේ, “මහවැව මහින්ද හිමි” යන පුණ්‍යවන්ත නාමයෙන් යුක්තව උතුම් පැවිදි බිමට ඇතුළු විය.
අධ්‍යාපනය
රුහුණු රට මුදුන් මල්කඩ ලෙස පූජනීයත්වයට පත් තිස්සමහාරාම රජමහා විහාරස්ථ ශ්‍රී කාවන්තිස්ස මහා පිරිවෙනට 1980 දශකයේ ඇතුළත් වූ උන්වහන්සේ, පිරිවෙන් අධ්‍යාපනයේ සියලු විෂය සීමාවන් අතික්‍රමණය කරමින්, ගුරු සිසු කා අතරත් ප්‍රසාදයට පාත්‍ර වෙමින් අ.පො.ස. උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරූහ.
උසස් පෙළ ඉතා උසස් ලෙස සමත් වූ උන්වහන්සේ, ගුරු දිවියට අත් පොත් තැබීමේ අරමුණින් 1990 වර්ෂයේ දී නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට ඇතුළත් විය. බෞද්ධ, පාලි හා සංස්කෘත විෂයන්ට මෙන්ම සිංහල සාහිත්‍යයට හා නිර්මාණකරණයට ද දක්ෂයෙකු බව එහිදී ප්‍රකට කළහ. ප්‍රධාන ශිෂ්‍ය සංගමයේ ලේකම් ධුරය හෙබවූ අතර, කවි බණ ඉතා සුගායනීය ලෙස දේශනා කරන භික්ෂූන් වහන්සේ නමක් ලෙස ද කැපී පෙනුණි.
1991 වර්ෂයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වී බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ විශේෂවේදී උපාධිය ලබා ගත්හ. දැනුම ඒකරාශී කර ගැනීමේ නොනිමි ආශාව නිසාම, 1996 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, 1997 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, 2008 වර්ෂයේ දී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනපති පශ්චාත් උපාධියත් හිමි කර ගැනීමට සමත් වූහ.
ගුරු දිවිය
ගුණ නැණින් සපිරි බෝසත් දරු පිරිසක් රටට දායාද කිරීමේ පරම අරමුණින්, නුගේගොඩ රැපියල් තෙන්නකෝන් විද්‍යාලයේත්, අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලයේත්, අංගොඩ රාහුල විද්‍යාලයේත් උපගුරුවරයෙකු ලෙස සේවය කළහ. 1997 වර්ෂයේ දී තමන් අධ්‍යාපනය ලැබූ සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේම අනියුක්ත කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කිරීමට හැකි වීම උන්වහන්සේගේ ගුරු දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් විය.
2008 දෙසැම්බර් 10 වන දින ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවයට එක්ව මහරගම ගුරු විද්‍යාලයේ කථිකාචාර්ය තනතුරට පත් වීම දහස් සංඛ්‍යාත ගුරුවරුන්ගේ භාග්‍යයට හේතුවක් විය. 2015 සිට 2026 දක්වා කාලය තුළ ලුණුගම්වෙහෙර ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානයේ කළමනාකාරිත්වයේ කටයුතු කළ අතර, දේශකයෙකු හා සම්පත් දායකයෙකු පමණක් නොව ඉතා සුබවාදී ගුරු මාර්ගෝපදේශකයෙකු ලෙස ද කළ සේවය අගය කළ යුතුය. මේ වන විට උන්වහන්සේ මාතර නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස නවක ශික්ෂණලාභී ගුරු සිසුන් වෙත සිප් සතර ලබා දෙයි.
සාහිත්‍යය හා ග්‍රන්ථකරණය
සාහිත්‍යයට හා ග්‍රන්ථකරණයට අසීමිත ඇල්මක් දක්වන උන්වහන්සේ, මාස්ටර් ගයිඩ් ප්‍රකාශන ආයතනය හා එක්ව 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා බුද්ධ ධර්මය විෂයට අදාළ ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් ද, සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් ප්‍රශ්නෝත්තර සංග්‍රහ රැසක් ද සම්පාදනය කර ඇත.
බොදු දනන් බෞද්ධ දර්ශනයේ දැනුමින් සන්නද්ධ කිරීමේ අරමුණින්, සූත්‍ර පිටකයේ තෝරාගත් සූත්‍ර ඇසුරු කර ගනිමින් ග්‍රන්ථ නවයක් ද, “දුගති සහ සුගති”, “කායානුපස්සනා” සහ “කඨිනයෙහි ආනිසංස” යන කෘතීන් ද පාඨකයන්ගේ දෝතට පත් කර ඇත.
උන්වහන්සේගේ “ජීවිතය සහ සිතුවම්” ග්‍රන්ථය ද ළඟදීම පාඨකයන් අතට පත් වේ. මෙම වෙබ් අඩවියේ ඇති විහාර සිතුවම් එකතුව සකස් කර ඇත්තේ එම ග්‍රන්ථය ඇසුරෙනි.
විදෙස් ධර්මදූත සේවය
ලාංකේය බෞද්ධ සමූහයාට ධර්ම දේශනා කිරීමෙන් එහා ගොස්, ජර්මනිය, ඔස්ට්‍රියාව, ඊශ්‍රායලය, සිංගප්පූරුව හා මැලේසියාව ආදී රටවලට ද වැඩම කරමින් විදෙස් ධර්ම ප්‍රචාරක සේවයේ නිරත වීමට උන්වහන්සේට භාග්‍යය හා අවකාශය ලැබිණි.
ජනමාධ්‍ය තුළින් ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා පවත්වමින් බොදු දනන් දහමින් සවිමත් කරන අතර, වසර ගණනාවක සිට විදේශිකයන් වෙනුවෙන් භාවනා වැඩසටහන් සිය විහාරස්ථානය තුළ ක්‍රියාවට නංවා තිබීම ද උතුම් සත් ක්‍රියාවකි.
විහාරස්ථානය හා ප්‍රජා සේවය
- ස්වභාවික ව්‍යසන හමුවේ ජනතාවට සවියක් වීම හා ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන ජනතාවට නිතර පිහිට වීම.
- සිල්වතුන් විශාල පිරිසක් වෙනුවෙන් මාසිකව පහසුකම් සම්පාදනය කරමින් ධර්ම අවබෝධය ලබා දීම.
- වාර්ෂික ආගමික චාරිකා සංවිධානය කිරීම.
- සිසුන් 350ක් පමණ ඉගෙනුම ලබන ශ්‍රී විපුල තිස්ස දහම් පාසල සඳහා සියලු පහසුකම් සහිතව දහම් අධ්‍යාපනය ලබා දීම.
- ශික්ෂණකාමීත්වයෙන් හා උගත්කමින් පිරිපුන් පැවිදි ශිෂ්‍ය පිරිසක් ලොවට දායාද කිරීම.
ආශිර්වාදය
විනීත, ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත හා ධර්මධර යන පැවිදි පඬිරුවනක් තුළ තිබිය යුතු ගුණාංගයන්ගෙන් පොහොසත් අප හාමුදුරුවන් වහන්සේට, සිය පෘථුල දැනුම හා බුද්ධිය තුළින් ජාතික, ආගමික හා සමාජීය කටයුතු ඉතා ජවසම්පන්න ලෙසින් ඉදිරියට කරගෙන යාමට නිදුක් නිරෝගී සම්පත්තිය හා චිර ජීවනය ලැබේවා!
මෙම චරිතාපදානය “තිස්ස සොඳුරු චරිත” ලිපි මාලාව ඇසුරෙනි.